Pages

Tuesday, February 8, 2011

මගේ වෙන්න.....

වලාකුලක ලියන්නෙපා නුඹේ පෙම් කතා
සුළං ‍රැලින් පාව යන නිසා...
දේදුන්නක අඳින්නෙපා නුඹේ පෙම් රටා
හිරු එලියේ බොඳව යන නිසා..
උඩු සුළඟේ හරින්නෙපා නුඹේ පෙම් සුසුම්
ආයෙත් මට විඳිනු බැරි නිසා....
හිත අද්දර පිපුනාදෙන් පුංචි පෙම් මලක්
‍රැක ගමි එය හුස්ම යන තුරා......

පිනි වැස්සේ ඉස්සාදෝ......
වස්සානේ පෙම් සීනේ......
පිනි අස්සේ ඉස්සීලා.......
මතුවේ හද සන්තානේ......
කඳු අස්සේ සිඳු ඔස්සේ....
සඟවන්නට බෑ සීනේ....
සිත ගැස්සේ රෑ තිස්සේ...
නුඹ එනවද පෙම් රෑනේ....


සිංදූරේ සෘංගාරේ...
නලලතෙහී මැවුනා සේ...
සඳ වුවනේ සොමි කිරනේ....
රෑ අහසේ ‍රැඳුනාසේ......
පෙම් පහනක් හද අරණේ...
දල්වාලන් සංතානේ....
සංසාරේ ඔබ රුහිරේ.....
මාගේ වනු ප්‍රිය මිහිරේ......

Sunday, February 6, 2011

මං එනතුරු බලන් ඉන්න......!

මූදු හතෙන් එහා රටක
හිම වරුසා වැටෙන කලෙක
හිත සතුටින් සුව යහනක
මා සැතපෙයි සිතයිද නුඹ.....
කූඩු කරන් ඉගිලෙන මගෙ
දෝරෙ ගලන පැතුම් ගොන්න
නුඹෙ ආදර පුංචි දෑස
නිතර පෙනෙයි රෑ දිවාද.....
සැහැල්ලුවෙන් අහස් ගඟුල
නැංවූ කල ගුවන් රථය
මහා මේරුවකි නැගුනේ
දන්නවාද රත්තරනේ............
නුඹෙන් ලැබුනු ලියුම් මිටිය
පාඩම් මට එකෙන් එකට
කාමරයේ කොනින් කොනට
පේනව මට නුඹේ මූන.......
අවසර පත් අපට නොමැති
අපිම ලියපු පෙම් කතාවෙ
අන්තිම පේලිය ලියන්න
මං එනතුරු බලන් ඉන්න...

Saturday, February 5, 2011

සොබා දම් නියමයක්..!

මවගේ කුසෙහි යුක්තාණුවක්-වනතුරු හුස්ම ලන බිලින්දෙක්
ඇවැසිය දස මසක්- එය බොහෝ කාලයක්
දරන්නට කුසෙහි ජීවයක්-තනන්නට අලුත් ලෝකයක්
ලබන්නට මවු  පදවියක්-ලැබෙන්නට පිය පදවියක්
සැබැවින්ම ඇවැසි වේ කල්පයක් සරි දස මසක්......

පිපෙන්නට මලක් ඇවැසි වේ මල් කැකුලක්
නැගෙන්නට මල් කැකුලක් ඇවැසි වේ තුරු මුදුනක්
තැනෙන්නට තුරු මුදුනක් ජනිත විය යුතු වේ පැලයක්
සැදෙන්නට පැලයක් දළු නැගිය යුතු අංකුරයක්
උණුසුම් හිරු එළියක් හෝමෝන දූතයෙක්
ඇවැසි වේ තවත් පූදින්නට නම් මලක්
කලක් ගතවේ ලොවට පිපෙන්නට නම් මලක්.......

ලබන්නට නම් යමක් ගෙවිය යුතු වේ කාලයක්
නොතැබුවොත් ඉඩක්- හැලෙනු ඇත සමුදායෙන් යම් සිද්දියක්
එවිට ගත නොහැකිවේ නියම අයුරින් ඵලයක්
සැබවින්ම එයත් එක් සොබාදම් නියමයක්.........

Friday, February 4, 2011

වරද

ගහේ අත්තක පිලිලයක් හැදුනාට
කපලා දාන්නෙනෑ ඒ ගහ කවදාවත්
උදුරලා දාන්නෙ පිලිලයමයි හැමදාමත්
පිලිලය නොනැසුවොත් හැබැයි
ඒ ගහ නැසෙනවා සිකුරුයි.........

කුඹුරට වල් වැදුනාම
කෙත් යාය ගිනි වද්දන්නෙනෑ කවදාවත්
විස දියර ඉහින්නේ වල් නැසෙන්න විතරමයි
හැබැයි වල් පඳුරු නොනැසුවොත්
කන්නයේ අස්වැන්න කම්මුතුයි.........

නුඹේ වරදක් තිබුනාට
වැරදි නුඹේ වැ‍රැද්ද විතරයි හැමදාමත්
දුරලන්න ඇවැසි මට ඒ වැ‍රැද්ද විතරමයි
නොමැකුනොත් ඒ වැ‍රැද්ද ලයාදර මිහිරියේ
නුඹත් වැරදිකාරියක් වනවා සත්තකයි...........

Thursday, February 3, 2011

සම්බුදු පිරිනිවණ.....!

සෙවන දී දෙරණ තලයට
අහස පුරා විහිදුනු අතු පතරින්
මල් මුව විදා හළ සුවද රොන් දස අත
ඒ මහා සල් රුක
මිලිනව හෙලා බිම පරනලා පත්
දුක් දෙවන දසුනක් බලනාසේ
සොවින් පහතට නැමී, කුසිනාරා වේ.....

හමා යන පවන් රළ
වැද සැලෙන ළපලු පත්
හෙලමින් කදුළු පිනිකැට
චාමර සලයි තුරු කැල....

හැමුවේය මද පවන්
විඩා සිඳුවන්නට මෙන්
සැතපි උන් බුදු හිමි සඳුට
වාලුකා තලය මත
මල් පියලි විසුරුවා
පාවාඩයක් වන ලෙසට...

නිසල බව සසල කොට
බුදු හිමියන් දකින්නට
ඇදුනු මහ සඟුන් ගෙන්
කහ පවුරක් ඉදි වුනා...

අහස් තල අරා සඳ
මුනි සඳුන් දෙස බැලුවා
වලා සළුවෙන් කඳුලු පිසදා..
ලොවම කම්පා වුනා
හිමි දෙනෙත් පිය වුනා....

මල්ල රජ වරුන්ගේ
සෝ සුසුම් පාවුනා අහසේ
දෙව්ලෝ බඹ ලෝ කරා
පණිවුඩය ගෙන යමින්..

පන් සාළිස් වසක්
තුන් ලොවම එලිය කළ
වෙසක් සඳ සැඟවුනා
නොතිර බව පසක් කරමින්...

මම දහය පන්තියෙදී දහම් පාසලේ අඩ සියවස් සමරු කළාපයට ලියපු නිසඳැස

Wednesday, February 2, 2011

පහන් කූඩුවේ නුඹ....!

වෙසග නම් නිමිත්ත පෙර‍ටු කොට ගෙන
නුඹේ ජන්මය සිදුවේ පලමුව....
බට පතුරු සැකිල්ලයි නැගෙනුයේ පලමු කොට
දෙවනුව නුඹේ නිමැවුවා අතින්
පාට හැඩ කොල ‍රැළින් නුඹව හැඩ වේ තවත්..
මල් කැටයමින් සරසා මුහුනත්
නූල් කඩෙන් එසවූ නුඹ ඉහලට
රග දෙන්නෙ කෙලිලොල්ව නුඹේ හැඩ වැඩ හුවා...
දැල්වු ආලෝකයෙන් තව තවත් ඔදවත්ව
මනමත්ව පිරිපුන්ව සිත් සතන් පොබයමින්
ගෙවනුයේ නුඹ දිවියෙ ස්වර්ණමය කාලයයි.....
තවත් දින ගත වෙත්ම වෙසග දුරු වී යත්ම
නුඹට හෙලු නෙත් කැලුම් ගිලිහෙනුයෙ බිදෙන් බිද.....
නමුදු තවමත් එලිය නුඹට තව පන පොවයි...
අව්ව වැසි සුළං තව නොයෙක් විද ආපදා
මකයි නුඹෙ හැඩ රුවත් කෙලි දෙලත් එක සේම..
තිබූ ඒ උස් තැනින් නුඹව ගෙන යළි බිමට
හෙලයි කුනු කූඩයට නොමැත අවසන් සැරද..
ඉපදුමත්, වැජඹුමත්, දුක සැපත්, මියැදුමත්
එක ලෙසට පහදවයි වෙසග තුල සැරි සැරූ
පහන් කූඩුවේ නුඹ නිසි ලෙසට අප සැමට...


නිහඩ විරුවනේ....!!

කර ගැට දෑතින් කලු ගල් ක‍ටුවෙන්
      මැවුව සමාධිය මහ මෙවුනා වේ...
නුඹේ සොහොන මත නුඹ සිහි වන්නට
       සෙල්මය සැමරුම් නැත නුඹ තැනුවේ...

කදුළු දහඩියෙන් සායම් දියකර
       නිමවූ තුසිතය සීගිරි මුදුනේ.....
නුඹේ සොදුරු රුව යලි සිහි වන්නට
       නුඹේ සිතුවමක් නැත නුඹ ඇන්දේ....

ගඩොලට දියකර ඔබගේ සවිබල
       නැංවූ දාගැබ් ගුවනත නැගුනේ....
නුඹට පුදන්නට නුඹ කල මෙහෙයට
       නැත නුඹ දෙවොලක් ඉදි කර ලූයේ....

රුහිරය පුදකොට ජීවය දියකොට
      බිහි කල නිදහස දෙරණත තලයේ...
නුඹට පුදන්නට නිදහස් හිත් වල
     මල් වරුසා නැත කිසිවිට හැලුනේ..

  

කුමක්ද එය......!

කළා වැවේ දිය ‍රැළි නැග ආවත්
සිතිජය දිවයන සයුර නොවේ.....
විලේ කුමුදු මල් කොපමන පිපුනත්
උදයට පිපි සියපතක් නොවේ......

අහස් ගැබේ තරු කොපමන තිබුනත්
පෝදා නැග එන සදක් නොවේ.......
උදයට පිනි කැට කොපමන සැලුනත්
මිහිකත සනසන වැස්ස නොවේ.....

මුවේ සිනා කැන් කොපමන පිපුනත්
පෙම්වත් හස‍රැළි මුවග නොවේ......
හදවත නළවන හැගුමක් ඇති මුත්
නුඹෙන් හැගෙන දෙය පෙමක් නොවේ......


Tuesday, February 1, 2011

ආදර අම්මේ......

ජීවන දියඹේ සැඩ රලු සයුරේ
සරනා විටදී රල පෙල අතරේ........
පාර කියා ලන දිරිය නගා ලන
පහන් ටැඹයි ඔබ සයුරු මානයේ.....

දෑස තෙමී යන කදුලැල් අතරේ
හඩවත දැල්වෙන දුක් ගිනි අතරේ...
සෝක නිවා ලන කදුල මකා ලන
හස‍රැල්ලයි ඔබ මුවග මානයේ...

සෙනෙහස මුසුවී ඔබගේ රුහිරේ
ජීවය මැවුනේ ඔබගෙනි සසරේ....
සිත සනහාලන සෙනෙහස පූදින
නැලවිල්ලයි ඔබ ආදර අම්මේ....

අහිමි පෙම.....!!!!!

හිරු පිපෙන්නට උදා අහසේ
කලින් සදවත හොරෙන් ගෙන ගිය
‍රැයේ තුන්යම හිත් පුරා දු‍ටු
හීනයයි නුඹ මැකුනු රහසේ.....

පෙති සලන්නට නැවුම් පහසේ
කලින් තවකෙකු නෙලා ගෙන ගිය
තුරු හිසේ පෙම් නැගුනු මල නුඹ
නොහැක දැකුමට එමල පෙරසේ......

බලා සිටියා මෙහා ඉවුරේ
තො‍ටුපලේ මා ඔරුව එනතුරු
එහා ඉවුරේ නැවතිලා එය
ගියා වෙනකෙකු සමග දියඹට....

නුඹම පමනක් වන්න නුඹ මට...!!

අහස වන්නට එපා නුඹ මට

අසනි මහ වැසි විටෙක නංවන.........

පොලව වන්නට එපා නුඹ මට

සියලු දුක් නිහඩව දරාලන...........

සයුර වන්නට එපා නුඹ මට

නෙතට සුව මුත් ගැඹුර නොපෙනෙන.........

 

ඉරක් වන්නට එපා නුඹ මට

දිවා හිනැහී ‍රැයට බැසයන....

සදක් වන්නට එපා නුඹ මට

අමාවක වී අදුර රජයන......

නුඹම පමනක් වන්න නුඹ මට

ආදරේ සිසිලස බෙදා ලන.......